Saturday, November 2, 2019

"ආයෙත් ජීවිතයට ළං කර ගන්නේ අනුන්ගේ කෙනෙක් නෙමෙයි. මගේම කියන කෙනෙක්.." - වොල්ගා කල්පනී -

හර්ෂණ බෙත්මගේ වගේම වොල්ගා කල්පනී කියන්නේ කාලයක් පුංචි තිරයට කදිමට ගැලපුණු පෙම් යුවලක් බවට පත් වුණා. විවාහයෙන් පසුවත් මේ දෙදෙනා පුංචි තිරයේ එකට රගපෑවා. මේ වෙනකොට හර්ෂණ වගේම වොල්ගාත් නීතියෙන් වෙන්වෙලා ඉන්න බව කාටත් රහසක් නෙවෙයි. කොහොම වුණත්, වොල්ගා කල්පනී ඇගේ අලුත්ම තොරතුරු සතිඅන්ත පුවත්පතකට කියා තිබුණේ මෙහෙමයි..

වොල්ගා මේ දවස්වල කාර්යබහුලයිද?
ඇත්තටම මම ගොඩක් කාර්යබහුල නිළියක් නෙමෙයි. හැබැයි මම සම්බන්ධ වුණු ටෙලි
නාට්‍ය කිහිපයක් මේ දවස්වල විකාශය වෙනවා. ඒ වැඩවලට තමයි මේ දවස්වල එකතු වෙලා ඉන්නේ.

ඒකාකාරී චරිත ස්වභාවයන්ට කොටු වෙන බොහෝ දෙනෙක් අතරේ වොල්ගා ඉන් පිට පැනපු කෙනෙක්. ඒක ඔබේ වාසනාවට සිද්ධ වූ දෙයක්ද? දක්‍ෂතාවට සිද්ධ වූ දෙයක්ද?
 
ඇත්තටම ඒක වාසනාවක්. රංගන ශිල්පියෙක්, ශිල්පිනියක් වුණාම හැකියාව වගේම වාසනාව තියෙන්න ඕන. මම කොටු නොවුණු චරිතයක් කියලා ප්‍රවීණයන් පවා මට කියන දෙයක්. මම තෝරා බේරා ගැනීම් එක්ක වැඩ කරන කෙනෙක්. මම දෙවියන්, බුදුන්, ජේසු අදහන කෙනෙක්. ඇත්තටම වෙනස් වෙනස් නිර්මාණවල වෙනස් වෙනස් චරිතවලින් මට ප්‍රේක්‍ෂකයන් අතරට එන්න ලැබීම පිනක්.

ඔබ රංගනයේදී සම්මානනීය වුණ ශිල්පිනියක්. එතැනින් එහාට රංගනයේ බලාපොරොත්තු තියෙනවාද?

මම ගොඩක් මහන්සි වෙලා මේ ඉන්න තැනට ආවේ. තාම මහන්සි වෙනවා. දේවල් ඉගෙන ගන්නවා. වොල්ගා කල්පනී කියන නමට ඉදිරියෙන් හොඳම කියන කෑල්ල දාගන්න කැමැතියි. ඒ වෙනුවෙන් මහන්සි වෙනවා.

වොල්ගා ජීවිතේට ලැබිච්ච දේවල් ගැන තෘප්තිමත් වෙන කෙනෙක්ද?
ඔව්. මගේ ජීවිතේ ගැන මම තෘප්තිමත්. මට අවශ්‍ය සහ ආස දේවල් තමයි මගේ ජීවිතයට ලැබුණේ. දුක් වෙන්න හේතු මගේ ජීවිතේ නැහැ. අවශ්‍ය දේ මට කොහොම හරි ලැබෙනවා. මගේ ජීවිතේ ගෙවුණෙත් ගෙවෙන්නෙත් ඒ විදිහට.

ජීවිතේ ගත්ත කිසිම තීරණයක් ගැන වොල්ගා පසුතැවෙන්නේ නැද්ද?
මම කිසිම තීරණයක් පසුතැවෙන්න බලාගෙන අරගෙන නැහැ. ඇත්තටම මම ගත්ත තීරණ ගැන පසුතැවීමක් නැහැ.

ඔබයි හර්ෂණයි විවාහ වුණා. දැන් ඔබ සහ හර්ෂණ දික්කසාද වෙලා. ඒ තීරණය ගැනත් එසේමද?
ජීවිතේ වෙනසක් වෙලා තියෙනවා. වොල්ගා කල්පනී කියන නමට පිටිපස්සෙන් වොල්ගා කල්පනී දික්කසාදයි කියන කොටස ගෑවිලා. ඒක මකන්න බැහැ. විවාහය වගේම දික්කසාද තීරණයත් අදාළ කෙනා එක්ක කතා බහ කරලා ගත්තේ. ඒ ගැන පසුතැවීමක් නැහැ.

ඔබයි හර්ෂණයි බොහෝ කාලයක සිට දැන හඳුනන අය. ඒ වෙලත් ඔබයි හර්ෂණයි විවාහ වෙලා දික්කසාද වෙනවා?
විවාහයේදී තේරුම් ගැනීම, විශ්වාසය කියන දේවල් ඕන. ඔය දෙකෙන් එකක් හරි නැති වුණොත් ගැටලු තමයි වෙන්නෙ.

දික්කසාදය කියන කාරණයේදී ගැහැනියක් දිහා සමාජය බලන්නේ වැරදි විදිහට. දික්කසාදය කියන කාරණාවෙදි ඔබට ඒ වගේ බලපෑමක් වුණේ නැද්ද?
මගේ ක්ෂේත්‍රයේ අයවත්, ප්‍රේක්ෂකයන්වත් මං දිහා එහෙම වැරදි විදිහට බැලුවේ නැහැ. ‘ඇයි එහෙම වුණේ’ කියලා දුක් වුණා මිසක් කවුරුවත් මට දෝෂාරෝපණය කළේ නැහැ.

දික්කසාදයෙන් පස්සේ සමහරු එකිනෙකාට වෛර කරනවා. එක්කෝ තරහාකාරයෝ වෙනවා. ඔබයි හර්ෂණයිත් එහෙමද?

අපි අතර කිසිම තරහක්, වෛරයක් නැහැ. එයා මට දැන් තවත් සාමාන්‍ය රංගන ශිල්පියෙක්.

ඔබයි හර්ෂණයි විවාහයට පෙර වගේම පසුවත් පුංචි තිරයෙත් හොඳට පෑහුණු යුවළක්. දික්කසාදයෙන් පස්සේ ඔබටයි හර්ෂණටයි පුංචි තිරයේ පෙම්වතුන් වෙන්න හෝ එකට රඟපාන්න ලැබුණොත්?

අපිට වැඩකට ආරාධනා ලැබෙද්දී එයට සම්බන්ධ වෙන ශිල්පියා, ශිල්පිනිය කවුද කියලා බලනවනේ. හර්ෂණ බෙත්මගේ දැන් මගේ සැමියා නෙමෙයි. නමුත් අපිට මඟතොටේදී මුණගැහුණත් හිනා වෙන්න පුළුවන්. වෙනසක් නෑ. ගොඩාක් මිනිස්සු එකිනෙකාට වෛර කරන්නේ ඒ කෙනා තමන්ගේ ජීවිතේ තවදුරටත් තියාගත්තොත්නේ. මම අතහැරලා ඉවරයි. අතහැරියාම ප්‍රශ්නයක් නැහැ. රංගනයට වුණත් එකට සම්බන්ධ වෙන එක ගැටලුවක් නෙමෙයි.

දැන් ඔබේ ජීවිතේ විශේෂ කෙනෙක් ඉන්නවද?

මම හැමදේම වෙලාවට කතා කරපු කෙනෙක්. දික්කසාදය ගැන වුණත් මම හරි වෙලාවට කතා කළේ. මගේ ජීවිතයටත් කෙනෙක් එන්න ඕන. තාම එහෙම කෙනෙක් නැහැ. ආයෙත් ජීවිතයට ළං කර ගන්නේ අනුන්ගේ කෙනෙක් නෙමෙයි. මගේම කියන කෙනෙක්. අවශ්‍ය කාලෙදි ඒ දේවල් අපිට ආදරය කරන ප්‍රේක්‍ෂකයන්ට කියනවා.

කෞශල්‍යා කළුගම්පිටිය
 
under the courtesy of mawbima.lk news web

---------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka