Monday, May 8, 2023

සැමියා මගේ කලා වැඩ වලට කිසිම වෙලාවක තහංචි දාලා නැහැ

රංගි රාජපක්ෂ කියන්නේ කලාවේ අලුත් මුහුණු අතර ප්‍රේක්ෂකාගාරයේ ආකර්ශනය දිනාගත් සුන්දර රුවැත්තියක්. එකිනෙකට වෙනස් වූ චරිත තුළින් පුංචි තිරයේ හැඩ වැඩ දාන ඇය වැඩිපුරම ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනා ගත්තේ රාවණ ටෙලිනාට්‍යයේ රඛා
කුමරියගේ චරිතය හරහා. මේ දිනවලත් ටෙලි නාට්‍යය ගණනාවකින්ම ඔබ අතරට එන ඇයගේ නවතම තොරතුරු දැන කියා ගැනීමට සඳැල්ල අපි ඇයට කතා කළා.

මේ දවස්වල බලන බලන පැත්තේ ඉන්නේ රංගි ?

මේ දවස්වල ඇත්තටම වැඩ ගොඩක් එක්ක ඉන්නේ. කරපු වැඩ කීපයක් එකවරම විකාශනය ආරම්භ වුණා. චන්දෝලී, නොනිමි, මල්පිපෙන කාලේ. අදිසි මම දායක වෙලා ඉන්න ටෙලිනාට්‍ය 4 ම මේ දිනවල විකාශනය වෙනවා. ඊට අමතරව තව ටෙලි නාට්‍ය හතරක රූගත කිරීම් ආරම්භ වුණා ජනවාරි මාසේ. ඒ හැමදේම එක්ක ටිකක් කාර්ය බහුල වෙලා තමයි ඉන්නේ.

ප්‍රේක්ෂකයෝ අතර වැඩිපුරම කතා වෙන චන්දෝලි ටෙලි නාට්‍ය පැත්තට හැරුණොත් රංගිව දකින්නේ වෙනස්ම චරිතයකින් ?

ඇත්තටම චන්දෝලි ටෙලි නාට්‍යයේ රංචෝ කියන්නේ මට රංගන ජීවිතේ ලැබුණ වෙනස්ම චරිතයක්. රංචෝ කියන්නේ හරිම හිතුවක්කාර දඩබ්බර චරිතයක්. ගහගන්නවා රණ්ඩු කරනවා. මේක නාරි මඩමක් වටා ගෙතුන කතාවක්. අතීතයේ සිද්ධීන් සමුදායක් වටා ගෙතුන සමාජය විසින් ජීවිතය වරද්දවපු සැමියා මැරුණ විවිධ හිංසනයන්ට දූෂණයන්ට ලක්වුණු කාන්තාවන් ඉන්න මඩමක් නාරි මඩම කියන්නේ. ඒ මඩම ඇතුළේ රංචෝ කියන්නේ විශේෂ වූ චරිතයක්. මගේ චරිතය තමයි ඒ මඩම ඇතුළේ දඩබ්බරම චරිතය.

හැමදාම තිරයේ රංගිව දැක්කේ අහිංසක චරිත තුළින් රංචෝ මේ තරම් දඩබ්බර වුණේ කොහොම ද?

ඇත්තටම මම කලාවට ආපු දා ඉඳලාම මට ලැබුණේ බොහොම ආදරණීය අහිංසක, හැමෝම ගැනම හිතන හිනාවෙලා කතා කරන චරිත. චන්දෝලි කියන ටෙලිනාට්‍යයේ රංචෝ කියන්නේ මාව වෙනස්ම කරපු චරිතයක්. රංචෝ කියන චරිතය ඇතුළේ සිනහව කියන දේ දකින්නම නැහැ. චන්දෝලි පිටපත ලැබුණම හැමදාම දකින අහිංසක චරිතයෙන් ටිකක් වෙනස් විදිහට ප්‍රේක්ෂකයන් අතරට යන්න හොඳ අවස්ථාවක් කියලා හිතුණා. එහි අධ්‍යක්ෂවරිය තුෂාරි අබේසේකර මහත්මිය එක්ක මීට පෙර මම වැඩ කරලා තියෙනවා. තුෂාරි අක්කා රංචෝ කියන චරිතයට ආරාධනා කරහම මම උඩින්ම භාර ගත්තා. ඇත්තටම චන්දෝලි කියන්නේ සෑම කාන්තාවක්ම නැරඹිය යුතු නිර්මාණයක්.

කොහොම වුණත් රංගිව ප්‍රේක්ෂකයෝ සොයන්න ගන්නේ රාවණ ටෙලිනාට්‍යය හරහා ඒ ආරම්භය ගැන මතක් කළොත්?

ඇත්තටම මගේ රංගන ජීවිතය ආරම්භ වෙන්නෙත් රාවණ ටෙලිනාට්‍යය හරහා. ඒත් රාවණ විකාශනය වෙන්න කලින් සල්සපුනා ටෙලිනාට්‍ය විකාශනය වුණා.

රංගනය එන්න පාසල් කාලේ ඉඳලාම මගේ හිතේ ලොකු කැමැත්තක් තිබුණා. මුලින්ම කලේ බ්‍රයිඩල් ෂූට්. එතනදී මාව හැඩගන්වපු රූපලාවන්‍ය ශිල්පිණියක් තමයි කිව්වේ නංගි ඔයාට රඟපාන්න දක්ෂතා තියෙනවා කියලා. ඒ අතරතුර මම නිරූපණය පිළිබඳවත් බ්‍රයන් මහතා යටතේ හැදෑරුවා. එහෙම හෙමින් හෙමින් ආපු ගමනක් මේක.

ඇත්තටම මට වෙළඳ දැන්වීම් වලටත් එන්න අවස්ථාව ලැබෙන්නේ ෆේස්බුක් එකේ දාපු ෆොටෝ එකක් දැකලා. නුවන් කළුආරච්චි අයියා තමයි මට කතා කළේ. ඊට පස්සෙ වෙළඳ දැන්වීම් ගොඩකට මට අවස්ථාව ලැබුණා. මේ වෙනකොට වෙළෙඳ දැන්වීම් 50 වැඩිය කරලා තියෙනවා. ඔය අතරතුර දවසක් නාලන් මෙන්ඩිස් මහත්මා මාව වෙළඳ දැන්වීමකින් දැකලා සල්සපුනා ටෙලි නාට්‍යයට කතා කළා. ඒ කාලයෙදිම තමයි රාවණ ටෙලි නාට්‍යයටත් මට අවස්ථාව ලැබෙන්නේ.

රාවණ ටෙලි නාට්‍යයේ රඛා කුමරිය ඔබේ ජීවිතේ සුවිශේෂී සංධිස්ථානයක් කිව්වොත්?

ඇත්තටම ඔව්. මගේ රංගන ජීවිතේ හොඳම අඩිතාලම සහ ජීවිතේ හැරවුම් ලක්ෂය වෙන්නේ රාවණ ටෙලි නාට්‍යයේ රඛාගේ චරිතය.

ඒ අවස්ථාව මට ලැබෙන්නේ හරිම අහම්බෙන්. දෙවෙනි ඉනිම පටන්ගත්තු මුල මට දෙරණෙන් කතා කළා තිරපරීක්ෂණයකට එන්න කියලා. මම ඒ තිරපරීක්ෂණයට දෙරණට යද්දි තුෂාර අයියා ඇවිල්ලා හිටියා රාවණ පිටපත අරගෙන. තුෂාර අයියා ඒ වෙලාවේ නංගි අපි රාවණ කියලා වැඩක් පටන්ගන්න යනවා දෙවෙනි ඉනිමට යන්නේ නැතුව පොඩ්ඩක් ඉන්න බැරි ද කියලා ඇහැව්වා. මම ඒ වෙලාවේ හා කියලා දෙවෙනි ඉනිම වැඩේට ගියේ නැහැ. ඒත් තුෂාර අයියා රාවණ ගැන කියලා අවුරුද්දක් ගියා දෙකක් ගියා කිසිම ප්‍රතිචාරයක් නැහැ. මට ඒක එහෙමම අමතක වෙලා ගියා. මම හිතුවා ඒ සඳහා වෙන කෙනෙක් තෝරගෙන ඇති කියලා. ඔන්න අවුරුදු දෙකකට පස්සේ ඇමතුමක් ආවා තුෂාර අයියාගෙන් නංගි රූගත කිරීම් පටන් ගන්නවා එන්න කියලා. මට ඒ වෙලාවේ පුදුමත් හිතුනා අවුරුදු 2 ක් ගිහිල්ලත් තුෂාර අයියාට මාව මතක තිබුණ එකට. රාවණ ටෙලිනාට්‍ය මගේ ජීවිතේ වෙනස්ම මාවතකට හැරෙව්වා කිව්වොත් හරි.

ඇත්තටම නවක නිළියක් විදිහට රාවණ ටෙලි නාට්‍යයෙන් පස්සේ මම හිතපු නැති විදිහට නිර්මාණවලට මට ආරාධනා ලැබුණා. මේ වෙනකොට රාවණ අදියර 3 රූගත කිරීම් කරලා අවසන්. තව නොබෝ දිනකින් රාවණ අදියර 3 විකාශය වීමට නියමිතව තියෙනවා. මේ වෙලාවේ ශ්‍යාම් අයියා තුෂාර අයියා ඇතුළු රාවණ කණ්ඩායම ආදරයෙන් මතක් කරනවා. මට රඛා බිසවගේ චරිතය ගොඩනඟන්න ඒ සියලුමදෙනා ලොකු සහයෝගයක් ලබාදුන්නා.

රඛා බිසවගේ අභියෝගය ඔබ භාරගත්තේ කොහොමද?

රඛා බිසව කියන්නේ විශ්වමුණිගේ ප්‍රධාන බිසව. අතීතයේ ඉසුරුමුණි පෙම් යුවළ ලෙස හඳුන්වලා තියෙන්නේ රඛාව බිසවයි, විශ්වමුණිවයි. රඛා කියන්නේ ඇත්තටම මට ලැබුණ ලොකු අභියෝගයක්. මුල්ම අභියෝගය වූයේ සටන් ක්‍රම ඉගෙන ගන්න එක.

කලාවට ආපු ගමන්ම වෘත්තීය මට්ටමෙන් පැවැත්මක් හදාගන්න පුළුවන් වේවි කියලා රංගිට විශ්වාසයක් තිබුණද?

මම තාමත් ආධුනිකයි. රාවණ ටෙලි නාට්‍යයෙන් පස්සේ මට ගොඩක් හොඳ නිර්මාණ ආවා. කැපිලි කෙටිලි ඉතින් නැතුවාම නෙමෙයි. ඒවා සාමාන්‍යයිනේ. එක ටෙලියක හිටි පමණින් පැවැත්මක් හදාගන්න බැහැ. ඒත් තමන් කරන වැඩේ ගැන තමන් ගැන හොඳ විශ්වාසයක් තියෙනව නම් පැවැත්මක් හදාගන්න අමාරු නැහැ.

රංගිට චිත්‍රපට වලින් අවස්ථාවක් තාම ලැබිලා නැද්ද?

චිත්‍රපටි දෙක තුනක් කරලා තියෙනවා. සුනිල් ආරියරත්න මහතාගේ චිත්‍රපටයක විහාරමහා දේවිගේ චරිතය නිරූපණය කළා.

මේ වෙනකොට රංගි සැබෑ ජීවිතේ පෙම්වතියක්ද?

ඔව්. මම පෙම්වතියක්. මේ වසරේ විවාහ දිවියට පිවිසෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒත් මම භාරගත්ත වැඩ කීපයක් තියෙනවා. ඒ වැඩ ටිකක් ඉවර වුණාම විවාහයට සූදානම් වෙනවා. මොකද විවාහයෙන් පස්සේ ක්ෂේත්‍රය අත්හරින්නේ නැහැ. ඒත් මට යම් මට්ටමකට සීමා සහිත වෙන්න වෙනවා. සැමියා මගේ කලා වැඩ වලට කිසිම වෙලාවක තහංචි දාලා නැහැ. එයා උපරිම සහයෝගය දෙනවා. ඒත් බිරිඳක් විදිහට මට සීමා වෙන්න වෙනවා. ඒ නිසා විවාහය කියන වගකීම භාරගන්න කලින් භාරගත්ත වැඩ වලින් ටිකක් නිදහස් වෙන්න ඕන.


නදීශා අතුකෝරළ 
under the courtesy of saaravita.lk news web

---------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka