Saturday, November 2, 2019

"වොල්ගා එක්ක නැවතත් රඟපාන්න ඇත්තටම මට ප්‍රශ්නයක් නෑ. වොල්ගා කල්පනී තවත් එක රංගන ශිල්පිනියක් විතරයි" හර්ෂණ කියයි

කොහොමද හර්ෂණ ජීවිතේ ?

ජීවිතේ හොඳින් ගෙවෙනවා.

කලා කටයුතුවලටත් ලොකු කාලයක් වෙන් කරලා ඇති නේද?

ඔව්. මේ දවස්වල මියුසික් වීඩියෝ, වෙළෙඳ දැන්වීම්, ටෙලි නාට්‍ය රූගත කිරීම්වලට කාලය වෙන්කරලා තියෙන්නෙ. ඉරේෂ් ලොකුබණ්ඩාරගේ ‘වරමද්ද’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් මීමුරේදී සිදුවෙනවා. සුදත් තිලකසිරි මහත්මයාගේ සහ සමන් කුමාර ලියනගේ මහත්මයාගේ අලුත් වැඩ දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. සුරංගද
අල්විස්ගේ ‘කිඩ්නැප්’ චිත්‍රපටයට සම්බන්ධ වුණා. එය ළඟදීම එළියට එයි.

“හුස්මක් තරමට” එක්ක තමයි හර්ෂණව මේ දවස්වල දකින්න ලැබෙන්නෙ?

ඔව්, රවින්ද්‍ර විජේරත්න මහත්මයා තමයි මාව ක්ෂේත්‍රයට හඳුන්වලා දෙන්නෙ. ඉතිං ඔහුගේ ‘හුස්මක් තරමට’ නිර්මාණයේ ගුරුවරයකුගේ චරිතයක් කරනවා. ඒ වෙනුවෙන් හොද ප්‍රතිචාරත් ලැබෙනවා.

හර්ෂණ කාලයක් මියුසික් වීඩියෝවලින් අෑත්වෙලා හිටියනේ. ආයෙත් මියුසික් වීඩියෝවලට සම්බන්ධ වෙන්න හිතුවෙ?

මියුසික් වීඩියෝවල රැල්ලක් ආවනෙ ඇඟවල් පෙන්නලා අමුතු මාතෘකා යටතේ සමාජයට ගැටලුවක් වෙන දේවල් එළියට ගෙනෙන. ඒ වගේ රැල්ලක් තිබ්බ නිසා තමයි මියුසික් වීඩියෝවලින් අෑත් වුණේ. ඒ රැල්ලට යන්න දීලා තමයි ආයෙත් මියුසික් වීඩියෝවලින් එළියට ආවේ. මට රැල්ලට වැඩ කරන්න ඕන වුණේ නැහැ. අපිටත් අමුතු අමුතු වැඩවලට තමයි ආරාධනා ලැබුණේ. ඒ රැල්ලට යන අයට යන්න දීලා බලාගෙන හිටියා. මට තමයි දෙරණ ලක්ස් මියුසික් වීඩියෝ සම්මාන උළෙලෙදී හොඳම නළුවා සම්මානය මුලින්ම ලැබුණේ. ඉතිං ඒ වගේ අගයකුත් ලැබිලා රැල්ලට යන්න ඕනේ නෑ කියලා හිතපු නිසයි බලාගෙන හිටියෙ.

හර්ෂණ බොහෝ දෙනකුගේ ආදරය දිනාගත්ත රංගන ශිල්පියෙක්නේ. ඒ ප්‍රේක්ෂක ආදරය තාමත් අඩු නැද්ද?

මට තිබ්බ ප්‍රේක්ෂක ආදරය තාමත් තියෙනවා. ඒ ආදරයේ වෙනසක් නැහැ. ඒ ආදරය රැකගන්න අපි දැනගන්න ඕන. අපේ ජීවිතවල අපි ගත්ත පෞද්ගලික තීන්දු තීරණ නිසා සමහරු අපි ගැන වැරදි දේවල් හිතාගෙන ඇති. නමුත් මාව දන්න අය මම කවුද කියලා දන්නවා. ඒ පෞද්ගලික දේවල් එක්ක මොනවා වුණත් කලාකරුවෙක් ලෙස මට ලැබුණු ආදරය තාමත් එහෙමමයි. පාරෙ බැහැලා යද්දි වුණත් ඒ ප්‍රේක්ෂක ආදරය දැනෙනවා.

තරුණියන්ගේ ආකර්ෂණයත් එහෙමමද?

ඔව්, තරුණියන්ගේ ආකර්ෂණයෙත් වෙනසක්, අඩුවක් නැහැ. මුල් කාලේ වගේම ඒ ආකර්ෂණය තියෙනවා.

හර්ෂණ පෞද්ගලික ජීවිතේ ගත්ත තීන්දු තීරණ ගැන කතා කළානේ. ඔබයි වොල්ගයි දැන් දික්කසාද වෙලා. එය හරි තීරණයක් කියලා හිතනවද?

ඒ තීරණය ගන්න හේතු මට කියන්න බෑ. මම හේතු පැහැදිලි කළොත් යම් පාර්ශ්වයක් අපහසුතාවට පත්වෙන්න පුළුවන්. අපේ ජීවිතවල විඳිනවා, විඳවනවා කියලා කාරණා දෙකක් තියෙනවනේ. මම ජීවිතය විඳින්න මිසක් විඳවන්න කැමැති කෙනෙක් නෙමෙයි. ජීවිතය විඳින්න ඕන කියන තැන ඉඳන් තමයි ඒ තීරණය ගත්තෙ.

විවාහය වගේම දික්කසාදයත් හදිස්සියෙ ගන්න ඕන තීරණ නෙවෙයි. මෙයත් හදිසි තීරණයක් නෙවෙයිද?

නැහැ, මේක හදිසි තීරණයක් නෙවෙයි. එහෙම හදිසියේ ගත්ත තීරණ වැරදිලා තියෙනවා. මේ තීරණය ඉවසලා ඉවසලා අවසානයේ ගත්ත තීරණයක්. වේදනාවේ අවසානය අතහැරීම කියනවනේ. අතහැරීම කියන තැන මමත් හිටියා. හැමෝම සතුටින් ජීවත් වෙන්න බලන්නෙ. ඒ සතුට නැති කරගෙන ජීවත් වෙන්න අමාරුයි.

ඔබයි වොල්ගයි කාලයක් ඉඳන් දැනහඳුනාගත් අයනෙ?

හඳුනාගැනීමේ ප්‍රශ්නයක් නෙවෙයි. තේරුම් ගැනීමේ ප්‍රශ්නයක් තියෙන්නෙ. තනිකඩ ජීවිතයයි, පවුල් ජීවිතයයි හඳුනා නොගැනීමේ ප්‍රශ්නයක්. අපි දන්න කියන යාළුවො. එතැනදී අපිට ප්‍රශ්න තිබ්බෙ නැහැ. පවුල් ජීවිතේ බර, වගකීම් පිළිබඳ ප්‍රශ්න එන්න පුළුවන්නෙ. දෙයක් පටන්ගන්න පුළුවන්, ඒත් පවත්වාගෙන යෑම තමයි භාරදුර කාර්යය. වගකීම්, යුතුකම්, තේරුම් ගැනීම සියලු දෙනාට වැදගත් කියලා මම හිතනවා.

හර්ෂණට ආයෙත් වොල්ගා එක්ක රඟපාන්න පුළුවන්ද?

රංගනය කියන්නෙ බොහොම ගරු කළයුතු දෙයක්. මම පැරෂුට් එකකින් මෙතැනට ආපු නළුවෙක් නෙවෙයි. දුර ගමනක් ගෙවාගෙන මෙතැනට ආවෙ. මම රංගන ජීවිතය, පෞද්ගලික ජීවිතයට ගාවගන්නෙ නැහැ. වොල්ගා එක්ක රඟපාන්න ඇත්තටම මට ප්‍රශ්නයක් නෑ. වොල්ගා කල්පනී තවත් එක රංගන ශිල්පිනියක්.

ඔබයි වොල්ගයි අතර සුහදකමක් තාමත් තියෙනවාද?

මම තරහක් නෑ කිසිම කෙනෙක් එක්ක. නමුත් සුහදකම් පවත්වා ගැනීමේ ලොකු වුවමනාවක් නෑ. මිනිස්සු දේවල් අතහැර යන්නෙ ආයෙ අවශ්‍යතාව දැනෙන්නෙ නැති වෙන්නනේ. ඒ නිසා අමුතු සුහදකමක් පවත්වාගෙන යන්න අවශ්‍ය නැහැ. නමුත් තරහක් නැහැ.

හර්ෂණ ආයෙත් පෙම්වතෙක් වෙලා කියලා ආරංචියි?

ඔව්, මම වොල්ගාගෙන් අයින් වෙලා අවුරුද්දක් වෙනවා. අවුරුද්දකට පස්සෙ මට පෙම්වතියක් මුණගැහුණා. සමහරු හිතනවා ඒ නිසා හර්ෂණ වොල්ගව දාලා ගිහින් කියලා. නමුත් එහෙම නෙමෙයි වුණේ. වොල්ගාගෙන් අයින් වුණාට පස්සෙ තමයි මට පෙම්වතියක් මුණගැහුණෙ. එහෙම දේවල් වෙන්න පුළුවන්නෙ. අපිට තනිකඩව ජීවත් වෙන්න බෑනෙ. සහකාරියක් අපිට ඕන වෙනවනෙ. මටත් එහෙම කෙනෙක් ලැබුණා. වොල්ගාගේ පෙම්වතාට හෝ මගේ පෙම්වතියට කවුරුත් වැරදි කියන්න හොඳ නැහැ. මොකද ඇත්ත කතාව දන්නෙ මමයි වොල්ගයි. අපේ ජීවිතවලට අලුතින් එකතුවුණු අය මොකුත් දන්නෙ නැහැ. ඒ නිසා ඔවුන්ට දෝෂාරෝපණය කරන්න හොඳ නැහැ.

හර්ෂණගේ අලුත් තෝරාගැනීම හොඳම තෝරාගැනීම කියලා හිතනවද?


ඔව්, හැම මොහොතකම ඒ විශ්වාසය එක්ක ජීවත් වෙන්නේ. මේ තෝරාගැනීම නිවැරදි වෙයි. උත්සාහ කරනවා එය පවත්වාගෙන යන්න.

ඇය කවුද කියලා කියන්න කැමතිද?

ඒ ගැන ඉදිරියට කියමු නේද?
කෞශල්‍යා කළුගම්පිටිය
 
under the courtesy of mawbima.lk news web

---------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka