Saturday, January 12, 2019

සමාජ මාධ්‍ය හරහා හැමෝම තරු වෙන්න, ජනප්‍රිය වෙන්නට බලන් හදන නිර්මාණ වැඩි වෙලා

ජනප්‍රිය ගීත කිහිපයක හිමිකරුවා වූ උදය ශ්‍රී වික්‍රමසිංහ වර්තමානේ ශ්‍රාවකයන් අතර ජනප්‍රිය යොවුන් ගායන ශිල්පීන් අතළොස්ස අතර සිටින්නෙකි. ගීත ගායනයට අමතරව සංගීතඥයෙකු ලෙසද කටයුතු කරන ඔහු වර්තමානයේ සංගීත කණ්ඩායමක්ද පවත්වාගෙන යයි. උදාවන නව වසරේ අලුත් වැඩ කිහිපයකටම මුල පුරන්නට සූදානමින් සිටින උදය ඒ පිළිබඳව අපිට පැවසුවේ මෙවැන්නකි.

කොහොමද නව වසරේ වැඩ කටයුතු? පසුගිය වසරේ නිර්මාණ කිහිපයක් කළා. මෑතකදී සිදුකළේ ශෂිකා නිසංසලා සමග කරපු %ගිම්හාන සිහිනේ^ කියන ගීතයයි. පසුගිය ඔක්තෝම්බර් මාසයේ තමයි එම ගීතය එළිදැක්වූයේ. හොඳට ඒකට ප්‍රතිචාර ලැබෙනවා. ඊට පස්සේ අලුත් ගීත හතරක්, පහක්ම කළා. එළිදක්වන්න හිටියේ ගිම්හාන සිහිනේ නෙමෙයි. ඒ ගීතයේ වැඩ ඉක්මන් වැඩ ඉවර වෙච්ච නිසා ඒක අපි එළිදැක්වූවා.

ඒ වෙද්දී එළිදක්වන්න හිතන් හිටපු ගීතයක් තිබුණා. මේ වෙද්දී ඒකේ වැඩකටයුතු ඉවර වේගෙන යනවා. ඒකේ වීඩියෝවත් එක්ක එළිදක්වන්න ඉන්නේ. කාලයක් හරියටම තීරණය කරලා නෑ. මේ දවස්වල තියෙන දේශපාලන තත්ත්වය හේතුවෙන් පොඩි කාලයක් අරගෙන එළිදක්වන්න තමයි ඉන්නේ. ඊට අමතරව කරපු චිත්‍රපට දෙකක් සහ ටෙලි නාට්‍යයක් එන්න තියෙනවා. ඒවගේම ගෘහස්ත සහ එළිමහන් සංගීත ප්‍රසංග දෙකම කරගෙන යනවා.

ඔබ අවුරුදු දෙකක් විතර නිහඬව හිටියා නේද? ඔව්, ටික කාලයක් ගීත එළිදැක්වූයේ නෑ. 2015 වසරේදී අමතලා ගීතයෙන් පස්සේ 2016 මුල %සුහුඹුල් සෙනෙහේ ගීතයෙන් පස්සේ අවුරුදු දෙකක් විතර මගේ ගීත එළිදැක් වූයේ නෑ. ඒ අතර ජාතික උත්සවවලට, මාධ්‍යවලට, රේඩියෝ නාට්‍යවලට කරපු ගීත එළියට ආවා. නමුත් ගිම්හාන සිහිනේ වෙනකම් මගේ ප්‍රධාන ගීතයක් ආවේ නෑ.

එහෙම වුණේ මගේ අනිත් සංගීත කටයුතුවලට වැඩිකාලයක් යොමු කරන්න වුණ නිසා මගේ ගීත එළිදැක්වීම ටිකක් අතපසු වුණා. ඇත්තටම අවුරුදු දෙකක කාලයක් වැඩියි කියලා මම හිතනවා. ඒක නිසා පොඩ්ඩක් ඉක්මනට ගීත එළිදක්වන්න අදහසක් තියෙනවා. මාසෙට එකක් නෙමෙයි. කාලයත් එක්ක හොඳ නිර්මාණ කරන්න හිතනවා. මොකද රටේ තත්ත්වයත් එක්ක මිනිස්සුන්ගේ අවධානය එක එක දේවල්වලට යනවානේ. එහෙම වුණාම සෞන්දර්යට තියෙන අවධානය අඩුවෙනවා. ඒ නිසා මේ කාලයේදී ගීතයක් එළිදක්වනවා කියලා කියන්න බෑ.

ඔබට රසිකයන්ගෙන් චෝදනා නැද්ද? ඇත්තෙන්ම තියෙනවා. අද වෙද්දී සමාජ මාධ්‍ය හරහා කෙළින්ම අදහස්, චෝදනා ලබා දෙන්න පුළුවන්නේ. එයාලත් කියනවා. ඇයි සිංදුවක් කරන්න කල්ගන්නේ, කියන දේවල් රසිකයනුත් අහනවා. ඔවුන්ට අමතරව, යාළුවෝ, නෑදෑයෝ හම්බවුණාමත් අහනවා. &කෝ මෑතකදී එකක් ආවේ නෑනේ, මොකද වෙන්නෙ* කියන දේවල්. එහෙම කට්ටිය අහන නිසා තමයි මගේ අනික් වැඩ පොඩ්ඩක් පැත්තකට තියලා මගේ ගීත ගැන අවධානය යොමු කරන්න හිතුවෙත්.

පසුගිය කාලයේ නිර්මාණ වූ ඇතැම් නිර්මාණ සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙක් විවේචනය කරා, එවැනි නිර්මාණ නිසා ක්‍ෂේත්‍රයට යම් හානියක් සිදුවුණා නේද? අපි කතාවට, රූපවාහිනීවල මාධ්‍යවල පොඩි පොඩි ඒවා අහනවානේ. පොඩි මාතෘකා හදා ගන්නවානේ. ඉස්සර ගීත හොඳයි, දැන් ඒවා හරි නෑ. එහෙම නැත්නම් දැන් ඒවා හොඳයි ඉස්සර ඒවා හරි නෑ කියන පොඩි මාතෘකා. ඒ වැඩේ ඇදන් යන්න ඕනේ නිසානේ. හැම කාලේම හොඳ ඒවත් එනවා. නරක ඒවත් වෙනවා. සාපේක්ෂ වශයෙන් ඒකාලේ ආපු ඒවා හොඳ ප්‍රතිශතය සමහර විට වැඩි ඇති. ඒක වෙන්න පුළුවන්. නරක නිර්මාණත් ඒකාලේ තිබුණා. ඒකාලේ තිබ්බ හැම ගීතයක්ම දැන් තියෙන්න ඕනනේ. දැන් කාලෙත් හොඳ ඒවත් තියෙනවා, නරක ඒවත් තියෙනවා.

සාපේක්ෂ වශයෙන් බැලුවාම දැන් තියෙන තරගකාරිත්වයයි, පරිසරයයි, සමාජ මාධ්‍යයයි නිසා හැමෝම තරු වෙන්න, ජනප්‍රිය වෙන්න උත්සහ කරන නිසා අර තාවකාලිකව ජනප්‍රියත්වය බලාගෙන හදන නිර්මාණ වැඩි වෙන්න පුළුවන්. යූටියුබ් ට්‍රෙන්ඩින් ගන්න ඕනේ නම් අපේ කට්ටිය හදාගත්තා ලිංගිකත්වය පෙන්වන ඒවා, නිරුවත් දර්ශන, නිරූපිකාවක් දාලා කරන වීඩියෝ ෆෝර්මැට් එකක්. එයින් හොඳ මියුසික් අහන අය ගොඩක් කලකිරුණා. ඇයි අහන්න ගීතයක් නැහැනේ. ඔක්කෝම විව්ස් බලාගෙන එළියට එන්නේ. ඒවා කරන අයටත් ඕනේ ඒකේ විව්ස් දා ගන්න මිසක් මියුසිකලි දෙයක් කරන්න නෙමෙයි.

කාලයක් රිගින්ටෝන් ප්‍රශ්නයක් ආවා. මොකද රිගින් ටෝන්වලට දාගන්නේ මේ ෆෝර්මැට් එකේ ගීත කියලා ඒ අයත් දෙයක් හදා ගත්තා. එකම ජාතියේ ගීත ගොඩක් රේඩියෝවෙත් ඇහෙන්න ගත්තා. ඒකෙනුත් මිනිස්සු ගොඩක් අයින් වුණා. පහුගිය ටිකේ අතරින් පතර තමයි ‍ටිකක් හිතලා දෙයක් කළේ. බොහොම අතලොස්සක් තමයි ඒවගේ දෙයක් කරන්නේ. මේ වෙනකොට එයින් ලොකු හානියක් එකතු වෙලා තියෙනවා. හානිය කියන්නේ අමතු දෙයක් නෙමෙයි. මිනිස්සුන්ට රසවිඳින්න පුළුවන් ලිස්ට් එකට දාගන්න පුළුවන් ගීත අඩුවෙන් තමයි ආවේ.

දෙයක් ජනප්‍රිය වුණාම ඒක පස්සෙම යනවානේ. නිරුවත් දර්ශන දාලා විව්ස් ගන්නවා නම් ඔන්න අනිත් හැමෝමත් ඒ පස්සේ යනවා. නැත්නම් රිගින් ටෝන්වලට මොකක් හරි සල්ලි ගෙවලා හරි හිට් කෙරෙව්වොත් එහෙම අනිත් අයත් උත්සහ කරනවා එහෙම කරන්න. ක්ෂේත්‍රය තුළ වැඩක් කරන අය ඒවට අහුවෙන් නැතිව නොසැළී තම තමන්ගේ වැඩ කරගෙන යනවා. ඒ අය තමයි අපිට ප්‍රසංගවලදී දකින්න ලැබෙන්නේ. මිනිස්සු සල්ලී දීලා වටිනා තැනකට ගෙන්වන්නේ ඒ අයව තමයි.

ක්‍ෂේත්‍රය තුළ අත්දැකීම ඇති කෙනෙක් විදිහට අද එන නවකයන්ව දකින්නේ කොහොමද? ඔවුන්ට ලබාදෙන උපදෙස් කොහොමද? මම දැනට අවුරුදු 12ක් 13ක් ඉද්දී යම් කිසි අත්දැකීම් තියෙනවා. නවකයන්ට මම කියන්නේ කවුරු හරි ක්ෂේත්‍රයට එනවා නම් අපි මෙච්චර වෙලා කතාකරපු දේවල් ගැනත් අවධානය යොමු කරන්න ඕනේ. අපි නිර්මාණයක් දාද්දී පැති කිහිපයක් ගැන හිතන්න ඕනේ. ප්‍රධානම දේ නිර්මාණය. ඒක රසවිඳින්න හැකියාවක් තියෙන්න ඕනේ. එහෙම අලුත් දෙයක් කරලා ඊට පස්සේ වීඩියෝවක් කරනවාද? කරනවා නම් ඒකට හානියක් නොවෙන්න කොහොමද කරන්නේ කියන දේ හිතන්න ඕනේ. දැන් ගීතයක් විකුණන්න පුළුවන් මාධ්‍ය කිහිපයක් තියෙනවානේ. දැන් ඒ දේවල් ගැනත් හිතන්න ඕනේ. ඉස්සර නම් අලෙවිකරණ පැත්ත තිබ්බේ නැහැනේ. අවුරුදු 40කට කලින් ඒ වගේ හිතුවෙ නැහැනේ. තමන්ට අවංකව හිතෙට දැනෙන නිර්මාණ කළා. දැන් අලෙවිකරණය පැත්තෙන් හිතන්න ඕනේ නිසා අලුතින් එන අයත් ඒ දේවල් ගැන හිතන්න වෙනවා. අද වෙද්දී ප්‍රධාන නිර්මාණය ගැන පමණක් හිතනවා නම් ලෝකයේ ඉදිරියට යන්න අමාරුයි කියලයි මම හිතන්නේ.

ගායන ශිල්පියාට තියෙන තවත් දක්ෂතා තියෙනවානේ. අද තියෙන තරගකාරීත්වය නිසා ඒවා උඩට අරන් දක්ෂතා පෙන්වන්න වෙලා තියෙනවා. ලක්ෂ සංඛ්‍යාත පිරිසගෙන් කැපී පෙනෙන්න අපි කරන්න ඕන හොඳ දේ, නරක දෙයක් කරලත් කැපී පෙනෙන්න පුළුවන්නේ. නමුත් ඒක වැඩක් නෑ. ශිල්පියෙක් වශයෙන් දෙයක් කරන්න නම් හරි දෙයක් කරලයි උඩට යන්න ඕනේ.

ඩිලාන් ක්‍රිෂාන්ත

---------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka