Monday, January 21, 2019

මමයි.. නැටුම් පන්තියේ ළමයින්ට නටන්න වන්නම් එහෙම කිව්වේ

නිපුනි අපිට මුලින්ම ඔයාගේ පවුලේ අය විස්තර සහ ගම් පළාත ගැන කිව්වොත්..? 
මං කැකිරාවේ කලාකරඹවැව කියන ගමේ තමයි ඉපදුණේ... මගේ පවුලේ ඉන්නෙ අම්මයි අප්පච්චියි නංගියි මල්ලියි. මම පාසල් තුනක ඉගෙන ගත්තා. අවසානයට මම ඉගෙනගත්තෙ කැකිරාව මධ්‍ය විද්‍යාලයෙන්.

ළමා කාලයේ සිටම ගීත ගැයීමේ හැකියාව තිබුණද..? 
ඔව්.. මගේ අම්මා නැටුම් ගුරුවරියක්. ඉස්සර අපේ ගෙදරදීත් අම්මා පාසල් දරුවන්ට නැටුම් කියලා දුන්නා. ඉතින්.. ඒ නැටුම් පන්තියට ආපු ළමයින්ට නටන්න වන්නම් එහෙම කිව්වේ මමයි. ඒ ළමයි එක්කම එකතුවෙලා මම සින්දු කිව්වා. ඊටපස්සෙ රජරට සේවයට
එකතුවෙලා පුංචි කැකුළු වැනි වැඩසටහන්වලට සහභාගි වුණා. ඒ වගේම පාසලේදී ගීත ගායනා කළා. සංගීත තරගවලට, සිංහල භාෂා පද්‍ය ගායනයට සහභාගීවෙලා සමස්ත ලංකා සහ ජාතික මට්ටමේ ප්‍රථම ස්ථානය වසර කිහිපයක්ම දිනාගත්තා.

පුංචි කාලේ හීන දැක්කෙ කවුරු වෙන්නද..?
 මට සංගීතය ඉගෙනගන්න ආසාව තිබුණා. ඒ වගේම කවදාහරි මගේම නිර්මාණ කරලා මේ ක්ෂේත්‍රයේ ගායිකාවක් වෙන්න ලොකු ආසාවක් තිබුණා.

ඒ අයට සැබෑ කරන්න අවස්ථාව ලැබුණේ කොහොමද..? 
ඉස්කෝලෙදී මම සංගීතය හැදෑරුවා. ඊටපස්සෙ මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට තේරුණා. ඒ කාලෙදීම ජාතික රූපවාහිනිය සහ රජරට සේවය සම්බන්ධවෙලා පවත්වපු දැයට කිරුළ ගී තරුව තරගයේදී ප්‍රථම ස්ථානය දිනාගන්න මට අවස්ථාව ලැබුණා. ඒ 2012 වසරේදීයි. ඒ හරහා ගුවන්විදුලි සංස්ථාවෙන් හා ජාතික රූපවාහිනියෙන් මට බොහෝ අවස්ථා ලැබුණා.

ඔබගේම ගීත නිර්මාණයක් එළිදක්වන්න අවස්ථාව ලැබෙන්නෙ කොහොමද..? 
ඒ සඳහා මට පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවෝ බොහෝ උදව් කරනවා. මට අවුරුදු දාහතර පහළොවේදී විතර ගංඟාරාමේ පියුමක ලස්සන සංයුක්ත ගී තැටියක් එළිදැක්වූවා. ඒකෙදී ලංකාවේ විවිධ පළාත්වලින් ළමයි තේරැවා. ඒකෙදී මාවත් තේරුණා. මම ගීත දෙකක් ගායනා කළා. ඒ වෙද්දී මට වයස අවුරුදු දාහතරයි. ඒක මට මගේ ජීවිතේ අමතක නොවන, ආසම කරන මතකයක්. ඒකෙ ගීත රචනා කළේ පූජ්‍ය මහගම සීලානන්ද හාමුදුරුවෝ. හැබැයි ඒකෙ විනිශ්චය මණ්ඩලයේ වගේම හැම කටයුත්තකදීම රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවෝ මුලසුන ගත්තා. විශ්වවිද්‍යාලයට තේරුණාට පස්සෙ විශාරද දර්ශන වික්‍රමතුංග, ප්‍රවීණ ගී පද රචක රවී සිරිවර්ධන, මහේෂ් විතාන, ශාන්ත කුමාර විතාන වැනි ප්‍රවීණයන්ගෙන් විශාල සහයෝගයක් මට ලැබුණා.

මේ වනවිට ගීත කීයක් විතර නිර්මාණය කරලා තියෙනවද..? 
මේ වනවිට මම ගීත විස්සක් විතර ගායනා කරලා තියෙනවා. ඒ අතරින් චිත්‍රපට අධ්‍යක්ෂක අනුරුද්ධ ජයසිංහ මහත්මයාගේ ළඟදීම තිරගත වීමට නියමිත මා කියන චිත්‍රපටයේ ගීත දෙකක් ගායනා කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ ගීත දෙකින් එක ගීතයක් මම ගායනා කරන්නෙ කසුන් කල්හාර එක්කයි. ඇත්තටම කසුන් කල්හාර කියන්නෙ මගේ ජීවිතේ මම ආසාම ගායකයෙක්. ඉතින් ඔහුත් සමඟ යුග ගායනාවක් කරන්න ලැබීමත් මගේ වාසනාවක් කියලයි මම හිතන්නෙ.

මේ දවස්වල මොනවද කරන්නෙ..? 
කාලයක් මම පාසලක සංගීත ගුරුවරියක් ලෙස ඉගැන්වීම් කළා. දැන් මම මගේ ගෙදර සංගීත පන්ති පවත්වනවා. ලබන අවුරුද්දේ අලුත් ගීත කිහිපයක්ම කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මෑතකදී මම ගායනා කළ ශාන්ත කුමාර විතාන ලියූ වසන්තයේ මල් ගීතයට මම ගොඩක් කැමතියි. මම විවාහ වුණේ ඩිල්ෂාන් ජයසිංහ එක්කයි. ඔහු පෞද්ගලික අංශයේ රැකියාවක් කරනවා. අපි විවාහ වුණේ මේ අවුරුද්දේ ජූලි මාසයේ. ඒකෙදී තමයි මම මුලින්ම සජීවීව වසන්තයේ මල් ගීතය ගායනා කළේ. ඒ ගීතයෙන් කියවෙන්නෙ විවාහ පත්වෙන දියණියක් අම්මගෙනුයි අප්පච්චිගෙනුයි සමුගන්න අන්දම. එදා මට ඒ ගීතය තදින්ම දැනුණා. ඒක මම හරි ආසාවෙන් ගායනා කරන ගීතයක්. 

---------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka