Sunday, October 13, 2019

සුන්දරත්වය පිළිබඳවම සිතා මනසින් කඩාවැටිය යුතු නැහැ - කිෂානි අලන්කි

ඇය ඇගේ වටිනාකම හඳුනාගත යුතුයි

කාන්තාව මවක්, බිරියක්, සහෝදරියක්, දියණියක් වශයෙන් භූමිකා කිහිපයක් නියෝජනය කරනා තැනැත්තියක්. කාන්තාවකගේ වටිනාකම කියා නිම කළ නොහැකියි. පවුල, ලෝකය ඉදිරියට රැගෙන යන්නේ කාන්තාවයි. නමුත් සමාජය තුළ ඇයට ඇයගේ වටිනාකම හිමි නොවන සහ ඇයට ගැරහීමට ලක් කරන අවස්ථා අප දකිනවා. යමෙක් කාන්තාවකට අගෞරව කරනවා නම් ඇයගේ වටිනාකම ලබා නොදෙන්නේ නම් එම පුද්ගලයා නූගත්, අඥාන පුද්ගලයකු ලෙස මා දකිනවා.

ඇය තමා තුළ ඇති හොඳ හා නරක හඳුනා ගත යුතුයි.

 මම සෘජුව කතා කරන කාන්තාවක්. පැවැසිය යුතු දේ කෙළින් පැවැසීමට මට හැකියාව තිබෙනවා. සෘජුව කතා කිරීම මට අවාසිසහගත වූ අවස්ථාද තිබෙනවා. අද බොහෝ මිනිසුන් ව්‍යාජයි. සමාජයට පෙනෙන අයුරින් ව්‍යාජ ලෙස ජීවත් වන පුද්ගලයන් සිටිනවා. ඇතැම් මිනිසුන්ගේ සිනහව පවා ඉතාමත් ව්‍යාජයි. එවැනි පුද්ගලයකු වීමට මා අකැමැතියි. එසේම මා ඉතා සංවේදීයි. සංවේදී පුද්ගලයකු වීම අයහපත් දෙයක් නොවෙයි. නමුත් ඉතා සුළු දෙයකට පවා සිත් වේදනා ඇති වීම මගේ දුර්වලතාවක්. සෑම පුද්ගලයකු තුළම හොඳ, නරක, දුර්වලතා වැනි ගති ලක්‍ෂණ පිහිටා තිබෙනවා. එවැනි දේ යහපත් ලෙස හසුරුවා
ගනිමින් ජීවිතය ඉදිරියට රැගෙන යා යුතුයි.

ඇය තම දරුවන්ට නිදහස මෙන්ම අවශ්‍ය මාර්ගෝපදේශකත්වය ලබා දිය යුතුයි.

 කුඩා කාලයේ සිට මට අවශ්‍ය නිදහස මගේ මවුපියන් මට ලබා දුන්නා. මගේ අධ්‍යාපනය වෘත්තීයමය දිවිය තෝරාගත්තේ මගේ කැමැත්ත මතයි. මම කලා ක්‍ෂේත්‍රය තෝරා ගැනීම සිදුවූයේ අහම්බයකින්. කලා ක්‍ෂේත්‍රයෙන් මට අවස්ථාවක් ලැබුණු විට මගේ මවුපියන් මා සීමා නොකර එයට අවශ්‍ය උපකාර මට ලබා දුන්නා. දරුවන් කුඩා කල සිට සීමා කොට එක්වර සමාජයට මුදාහැරි විට ඔවුන් සමාජය තුළ අතරමං වෙනවා. ඔවුන් සතු අත්දැකීම් අවම වීම එයට හේතුවයි. දරුවන් සමාජය තුළ අතහැර දැමිය යුතුයි කියා මා මෙහිදී අදහස් කරන්නේ නැහැ. දරුවකුට සෑම විටම මවගේ පියාගේ ආදරය, රැකවරණය අවශ්‍යයි. එලෙස ආදරය, රැකවරණය නොලැබූ දරුවන්ගේ ජීවිත අඳුර වෙත ගමන් කිරීමට වැඩි ඉඩක් පවතිනවා. නමුත් දරුවන් සීමාවන් තුළ කොටු කිරීම අවම කළ යුතුයි. අතිශය ලෙස සීමා කරන ලබන ගැහැනු දරුවන් විවිධ දේ හොරෙන් අත්හදා බැලීමට යොමුව ජීවිත විනාශ කර ගැනීමට ඉඩ තිබෙනවා.

අධ්‍යාපනය ලැබීමේ සම අයිතිය කාන්තාවටත් හිමි බව ඇය වටහා ගත යුතුයි.
 වර්තමානය තුළ අධ්‍යාපනයට ඉතා ඉහළ වටිනාකමක් තිබෙනවා. සංකීර්ණ මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට අධ්‍යාපනය අත්‍යවශ්‍යයි. ගැහැනු දරුවාට අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතියක් තිබෙනවා. මුදල් ඉපැයීමට පමණක් නොවෙයි බුද්ධිමත් ලෙස ජීවිතය ගත කිරීමටත් අධ්‍යාපනය වැදගත්.

ඇය රැකියාවක් කළත් නොකළත් සාර්ථක ගෘහණියක් විය යුතුයි

  අතීතයේදී කාන්තාවන් රැකියාවල නිරත වූ ප්‍රවණතාව අඩුයි. නමුත් වර්තමාන කාන්තාව වෙනස්. ඔවුන් ඔවුන්ට හිමිවිය යුතු නිසි තැන හිමිකරගෙන තිබෙනවා. එසේ වූයේ කාන්තාවට රැකියා කිරීමේ නිදහස හිමි වූ නිසයි. අවස්ථාවන් සහ නිසි තැන ලබා ගැනීමට අතීතයේ සිටම කාන්තාවන් අරගලවල නිරත වූවා. අද වන විට බොහෝ කාන්තාවන් රැකියාවල නිරත වෙනවා. ඒ තුළින් කාන්තාව ස්වාධීන වෙනවා. නමුත් රැකියාවක් නොකළ පළියට කාන්තාවකගේ වටිනාකම අඩු වන්නේ ද නැත. ඇතැම් කාන්තාවන් රැකියාවක නිරත නොවී එම කාලය දරුවන් සහ සැමියා වෙනුවෙන් කැප කරමින් පවුල සුන්දර කරනවා. ඇය සාර්ථක ගෘහණියක් වීම තුළින් ඇයට වෙනම වටිනාකමක් හිමි වෙනවා.

 ඇය විවාහය වැනි කාරණා සම්බන්ධයෙන් ස්වාධීනව තීරණය ගත යුතුයි.

 සෑම කාන්තාවක්ම අනිවාර්යයෙන්ම විවාහ විය යුතුයි යනුවෙන් සමාජය තුළ මතයක් පවතිනවා. මා දකින ආකාරයට නම් එය මතයක්ම පමණයි. විවාහය ඉතා සුන්දර දෙයක්. දෙදෙනෙක් එක් වී පවුලක් ගොඩනඟනවා. එය ලෝකයේ පැවැත්මටද බලපානු ලබනවා. නමුත් විවාහ විය යුතුමයි කියා බල කිරීම අනුමත කළ නොහැකියි. විවාහයෙන් වියුක්තව සුන්දර ලෙස ස්වාධීනව ජීවිත ගත කරන කාන්තාවන් සිටිනවා. මවුපියන්ගේ බල කිරීමට අඩු වයසින් විවාහ වී ගැටලු රැසක් සමඟ ජීවත් වන කාන්තාවන් ද සිටිනවා. විවාහ වනවාද නැද්ද විවාහ විය යුත්තේ කා සමඟද සහ කුමන වයසෙන්ද යන කාරණා තීරණය කිරීමට සෑම පුද්ගලයකුටම ස්වාධීන අයිතියක් තිබෙනවා.

ඇය ආදරේ නාමයෙන් යැයි සිතා අමනෝඥ දෑ නොකළ යුතුයි.

කාන්තාවන් හා ගැහැනු දරුවන් සෑම විටම තමා කරනු ලබන ක්‍රියාවන් පිළිබඳව කිහිපවරක් සිතිය යුතුයි. හැඟීම්වලට වඩා බුද්ධියට ඉඩදිය යුතුයි. ආදරය කිරීමේදී බොළඳවීම බොහෝ කාන්තාවන් සිදුකරනා වරදක්. විවාහයට ප්‍රථමයෙන් පුද්ගලයකු පිළිබඳව විශ්වාසය තබා නිරුවත් ඡායාරූප, වීඩියෝ හුවමාරු කිරීම ඉතා අවදානම් සහගතයි. යම් පුද්ගලයකු ආදරය හෝ විශ්වාසය ඇපයට තබා ඔබව එවැනි දෙයකට පොලඹනවා නම් එම පුද්ගලයා විශ්වාස කළ නොහැකි පුද්ගලයකු යැයි ඔබ එම අවස්ථාවේදීම වටහාගත යුතුයි.

ඇය අන් සියලුම දේට වඩා මනසේ සුවය ගැන සිතිය යුතුයි.

  මනසේ සන්සුන්භාවය ඉතාම වැදගත්. අප ගත කරනුයේ ඉතා සංකීර්ණ තරගකාරී ජීවන රටාවක්. සෑම දිනකම අපගේ මනස වෙනස්වීම්වලට ආතතියට ලක් වෙනවා. එවැනි දේ මඟහරවා ගැනීමට දිනයේ කුඩා හෝ කාලයක් අප වෙනුවෙන් වෙන් කර ගත යුතුයි. මම නිතර චිත්‍රපට නරඹනවා. ඒ තුළින් මා වින්දනයක් ලබනවා.

ඇය තමාට ලැබී තිබෙන පෙනුම හා සුන්දරත්වය ගැන සෑහීමකට පත්විය යුතුයි.
දරුවන් බිහි කිරීම සහ වයස්ගත වීම සමඟ අපගේ හෝර්මෝන ක්‍රියාවලිය වෙනස්කම්වලට බඳුන් වෙනවා. ඒ සමඟම අපගේ සිරුරේ හැඩය සම වෙනස් වෙනවා. එය ඉතා සාමාන්‍ය ස්වාභාවික දෙයක්. නමුත් කාන්තාව සෑම විටම පෙනුමෙන් සියයට සියයක් සර්ව සම්පූර්ණ විය යුතුයි කියා මතයක් සමාජය විසින් ඇයගේ ඔළුවට කාවද්දා තිබෙනවා. සම සුදු කර ගැනීමට අද තරුණියන් කොතරම් වේදනා විඳිනවාද. එය මානසික ගැටලුවක් බවට පත්වන තැනට ගොස් තිබෙනවා. පෙනුමේ අඩුපාඩු ඇති වුවත් ඔබගේ රුව පිළිබඳව ඔබ සෑහීමකට පත්වෙනවා නම් අන් අයගේ මතයන් පිළිබඳව පසුතැවිලි විය යුතු නැහැ. සුන්දරව සිටීම වැදගත්. නමුත් සුන්දරත්වය පිළිබඳවම සිතා මනසින් කඩාවැටිය යුතු නැහැ. එසේම සුන්දරවීමට භාවිත කරන ඇතැම් දේ නිසා ලෙඩ  රෝග පවා ඇති විය. හැකියි. ඒ පිළිබඳවත් සිතිය යුතුයි.

ඇය අනෙකාටද උදවු කිරීමට තරම් පරාර්ථකාමි විය යුතුයි.

 මට කුඩා කල සිට කිසිදු අඩුපාඩුවක් දැනී නැහැ. සමාජයේ වෙසෙන සෑම දරුවකුම එසේ ජීවත් වනවා දැකීමට මා කැමැතියි. ඒ නිසා අසරණ දරුවන්ට උදවු කිරීමට මා කැප වෙනවා. මා දැනටත් සංවිධාන කිහිපයක් සමඟ එක්ව එවැනි කටයුතු සිදුකරනවා. අනාගතයේදී දරුවන් වෙනුවෙන් විශාල දෙයක් කිරීම මගේ බලාපොරොත්තුවයි. අප ජීවත් වන්නේ. ඉතා කුඩා කාලයක් පමණයි. අපට හැකියාව තිබෙනවා නම් අන් අයටද උපකාර කළ යුතුයි. අප මෙන්ම ඔවුන්ද සතුටින් ජීවත් විය යුතුයි.

---------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka