Wednesday, September 6, 2017

ඇස් නොපෙනුණත් මට යා යුතු මඟ පෙනෙනවා

ඇස් නොපෙනුණත් මට යා යුතු මඟ පෙනෙනවා

ඉමාෂා මුතු කුමාරි

මෙලොවෙහි සුන්දරත්වය දෙනෙතින් විඳිමට වාසනාව නොලද ඇය සිය මිහිරි කටහඬින් අප සිත් සතන් අමන්දානන්දයට පත් කරන්නීය. ඇය සතු නිසඟ හැකියාවෙන් රටක් වසඟයට ගැනීමට ඇයට හැකියාව ලැබින. එහෙත් මේ අපූරු කටහඬහි හිමිකාරිය ගැන බොහෝ දෙනෙකු නොදන්නේ ඇගේ අභාග්‍යකටය. එහෙයින් ඇයට සිදු වූ අසාධාරණකම් ද එමටය.

ඉමාෂා මුතු කුමාරි. අප ඇයව සොයා ගියෙමු. සුන්දර කැදැල්ලක හිමිකාරියක වූ ඇය සිතහි සංගීතය පිළිබඳ දහසකුත් බලාපොරොත්තු ඇතිවග කතාබහේදී අපට දැනිණ.

* ඉමාෂා, හඬින් ඔබ ජනප්‍රියයි. ඒත් රුවින්?

මගේ පළමු ගීතය වන සඳක් වෙන්න බැරි නම් නුඹ හට ගීතය ඉතාම ජනප්‍රිය වුණා. එහි වීඩියෝවකුත් කළා. එහෙත් මං ගැන විස්තර වැඩි දෙනෙක් දන්නේ නැහැ. ඊට පසුව තවත් ගීත කිහිපයක්ම කළා. මාව නොදැන සිටීම නිසා අසාධාරණකම් ද බොහොමයක් සිදුවුණා. ඒවා දිහා බොහොම උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා.

* මොනවද ඔබට සිදු වූ ඒ අසාධාරණකම්?

දෘශ්‍යාබාධිත වීම හින්දයි එහෙම වුණේ. මට ලැබුණු සන්දර්ශන එන්න එන්න අඩු වුණා. ඇතැම් අය තුට්ටුවට දෙකට මගේ හැකියාව මිල කරන්න හැදුවා. මං ඒවට එකඟ වුණේ නැහැ. බොහොම සුළු මුදලක් දීලා ප්‍රසංගවලට එන්න කියනවා. මඟ වියදමටවත් ඒක මදි. මං ඒවට යන්නේ නැහැ. තව අය හිතාගෙන ඉන්නවා මං දෘශ්‍යාබාධිත නිසා ෂෝස්වලට ආවොත් මාව කරදරයක් වේවි කියලා.

* ඔබ ප්‍රසංග වේදිකාවට බොහොම ළැදියි වගේ?

ඇත්තටම ආසයි. මට ප්‍රසංග වේදිකාවෙන් දුරස්වන්න බැහැ. ඒක නිසා අන්තිමේ මං මගේම ඒක පුද්ගල ප්‍රසංග මාලාවක් ආරම්භ කළා. ඒකෙ නම මුතු ගීසර. මේ එළඹෙන සැප්තැම්බරයේ දෙහිවලදී එහි තවත් අදියරක් පැවැත්වෙනවා.

* අප ඔබව ගායිකාවක් ලෙසට හඳුනා ගන්නේ සඳක් වෙන්න ගීතයෙන්. කොහොමද ඒ අවස්ථාව ලැබුණේ?

මට මුලින්ම වුවමනා වුණේ සී ඩී එකක් කරන්න. ඒක කරලා බස් එකක් බස් එකක් ගානේ විකුණලා ගෙයක් දොරක් හදා ගන්නයි උවමනාව තිබුණේ. ඒ අරමුණින් ඉන්නකොට මට හමු වුණා මනුරංග විජේසේකර මහත්මයා. ඔහුගේ මාර්ගයෙන් ලහිරු පෙරේරාව හඳුනාගන්න ලැබුණා. ඔවුන් මං ගැන විස්තර අහලා මේ ගීතය මට හදලා දුන්නා. ගීතයෙන් ලැබුණ මුදල්වලින් තමයි වීඩියෝ එකත් කළේ.

* දෘශ්‍යාබාධිත වීම ගැන ඔබ දුක් වූ අවස්ථා තිබෙනවාද?

කොහෙත්ම නැහැ. මගේ පුංචි කාලේ ඉඳලා ඇස් පෙන්නේ නැහැ. බ්‍රේල් ක්‍රමයට මං ඉගෙන ගත්තා. මේ වෙලාවේ මට ධෛර්යයක් දුන් මල්කාන්ති ගුරුවරියව මතක් කරන්න ඕනෑ. කිසිම වෙලාවක ඉදිරියට තැබූ පය ආපස්සට තැබුවේ නැහැ. ජීවිතය ජයගෙන මගේ අරමුණ කරා යන්නයි උත්සාහ කරන්නේ.

* මොකක්ද ඔබේ අරමුණ?

දක්ෂ ගායිකාවක් වෙන එක තමයි.

* සංගීතය පිළිබඳ මොන වගේ හැදෑරීමක් ද කළේ?

ගොඩක් හොඳට ඉගෙන ගත්තා. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් යටතේ කාලයක් මං සංගීතය හැදෑරුවා. හැදෑරිමක් නැත්නම් මේ ගමන යන්න අමාරුයි.

* මේ දිනවල පවතින රැල්ලට සිංදුවක් කරන්න අදහසක් නැතිද?

මේ රැල්ල දෙස මං බලන්නේ හරිම මධ්‍යස්ථවයි. මිනිස්සුන්ට රස විඳිය හැකි උසස් නිර්මාණයන් කරනවා මිසක ආවට ගියාවට ගීත කියන්නේ නැහැ මං.

* ටෙලි නිර්මාණයකටත් ඔබට හඬ මුසු කරන්නට අවස්ථාව ලැබුණා නේද?

ඔව්. ඒ නාට්‍යයේ නම නෙතු අද්දර. ඒ වගේම සීමා නෑ ආකාසේ චිත්‍රපටයටත් මං සිංදු කිව්වා.

* එවන් නිර්මාණවලට දායකවීමට කැමැත්තෙන්ද ඉන්නේ?

බොහොම කැමැත්තෙන් ඉන්නේ. විශේෂයෙන් චිත්‍රපටයකට ආයේ සිංදු කියන්න හරිම ආසාවෙන් ඉන්නවා.

* දැන් ගේ හදලා ඉවරද?

තවම නැහැ. කොහොම හරි ලැබෙන ආදායම කලමනාකරණය කරගෙන චුට්ට චුට්ට ගේ හදනවා.

* ඔබේ සුන්දර කැදැල්ල ගැනයි මං අවසානයට අහන්නේ?

මට අවුරුදු දහයක පුතෙක් ඉන්නවා. මගේ මහත්තයා සජිත් සිල්වා. ඔහු මට ලබාදෙන ශක්තිය අපමණයි.

0770645932 මේ ඉමාෂාගේ දුරකතන අංකයයි.

(දිනමිණ පුවත්පත ඇසුරෙනි) 

---------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka