Wednesday, September 6, 2017

හිර­ම­න­යත් අර­ගෙන කොයි වෙලා­වෙත් පාරෙ ෆර්නි රෝෂිණී අතීත මත­කය අවදි කරයි

හිර­ම­න­යත් අර­ගෙන කොයි වෙලා­වෙත් පාරෙ ෆර්නි රෝෂිණී අතීත මත­කය අවදි කරයි
 
වේදිකාව, ටෙලිනාට්‍ය, සිනමාව, ගායනය, හඬකැවීම මේ කුමන කලා මාධ්‍යයකට වුවත් එකලෙස දක්ෂතා දක්වන රංගන ශිල්පීන් හෝ ශිල්පිනියන් කලා ක්ෂේත්‍රයේ සිටිනුයේ අතළොස්සකි. මෑත කාලයේ නම් එවැනි දක්ෂතා දක්වන්නන් ඇත්තේම නැති තරම්ය. ෆර්නි රෝෂණී නම් රංගන ශිල්පිනිය අපට වැදගත්වන්නේ මේ සියලු හැකියාවන්ගෙන් ඈ පරිපූර්ණ වන නිසාවෙනි.

• නත්තල් දා අමුතු තෑගි බෙදුවා

කලාවට ප්‍රසිද්ධියක් උසුලන කලාකරු කලාකාරිනියන් බොහොමයක් සිටින හොරණ

ප්‍රදේශය මගේ ගම. හොරණ විද්‍යාරතන පිරිවෙන ආසන්නයේමයි අපේ නිවෙස පිහිටා තිබෙන්නෙ. පිරිමි සහෝදරයන් දෙදෙනකුගේ අක්කා විදිහට කුඩා කාලයේ පටන්
මුහුණදුන් අත්දැකීම් බොහොමයි. තාත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙ නිලධාරියෙක් ලෙස සේවය කළා. අම්මා පෙර පාසල් ගුරුවරියක ලෙස කටයුතු කර මම ඉපදුණාට පසුව ඉන් ඉවත්වී තිබෙනවා. සමහර විට ඒ මගේ දැඟලිල්ල වැඩිකමටම වෙන්න ඇති. ඒ තරමටම මේ ෆර්නි පුංචි කාලෙ පටන්ම දඟයි.අම්මා අදත් කියනවා පොඩිකාලෙ මම කළ දඟ වැඩ ගැන. එක දවසක් ගෙදර උඩ තට්ටුව හදන්න දාපු ස්ලැබ් එකට වෙලා නිදාගෙන. අම්මල පැය ගණනක් ගමේ හැම තැනම බලල නැති තැන නිකමට ස්ලැබ් එක උඩ බලනකොට හොඳටම නිදිලු.තවත් දවසක්...මතකෙ හැටියට ඒක නත්තල් දවසක් ..අපේ ගෙදර කෑමට කොස් ගෙඩියක් කපලා සුද්ද කළා. මම මල්ලිලා දෙන්නත් එක්ක ගෙදරට හොරෙන් මේ කොස් ලෙලි හොඳට පාර්සල් කරලා නත්තල් සීයා වගේ ඇඳගෙන කොස්කොළ තොප්පි දාගෙන ගෙයින් ගෙට ගිහින් අර පාර්සල් බෙදලා දුන්නා.අසල්වැසි ගෙවල්වල අය අපිව එව්වේ කන්න බොන්න දී තෑගිත් දීලයි . පස්සෙ කොහොමහරි අම්මට ආරංචිවෙලා අපි කරපු කපටි වැඩේ.හොඳටම ලැජ්ජා හිතිලා තුන්දෙනාට හොඳටම ගැහුවා.වැඩි පුරම ගැහුවෙ මට. එකක් මම ගැහැනු ළමයෙක් කියල, අනෙක ගෙදර වැඩිමලා කියල. ඒ අතීතය මතක් වෙනකොට දැනෙන සතුට කියාගන්න බෑ. පස්සෙ පාසල් යන කාලය වන විට ගුටි කාලම ටිකක් දඟ ගතිය මගහැරුණා. කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි බාලිකාවේ වසර කීපයක් ඉගෙන ගෙන පසුව හොරණ තක්ෂිලාවට ඇතුළත් කළා.

• පාසල් කාලයේත් දඟ වැඩ

පාසල් කාලයේත් හැමදාමත් කළේ දඟවැඩ.ඒක තක්ෂිලාවට ආවට පස්සෙ තවත් වැඩි වුණා.හැමදාමත් වගේ මොකක් හරි ගෝරියක් තමයි. එක සැරයක් පිරිමි ළමයෙක් එක්ක රණ්ඩුකරල කුඩේ කැඩෙනකම්ම ඔහුට ගැහුවා.ගහල විදුහල්පතිතුමා ළඟට අඬාගෙන ගියා කුඩේ කැඩුවා කියා. තාත්තවත් පාසලට ගෙන්නුවා. කොහොමහරි විදුහල්පති ලවාත් ඒ ළමයාට ගැස්සුවා. ඒ වගේ නපුරු, දඟකාර වැඩ තමයි කළේ. උසස් පෙළට කලා විෂයයන් තෝරාගත්තාම යාළුවො හිනාවුණා.අපෝ කවුද කලා කරන්නෙ ඕව කරල කාටද හරි ගියේ කියලා. සංගීතය ඉගෙනගන්න වයලීනය අ‍රගෙන පංති යනකොට කිව්වේ හිරමනයත් අරගෙන කොයි වෙලාවෙත් පාරෙ කියල. හැබැයි මම අද සතුටුවෙනවා ඔවුන් ඉන්න තැනත් මම ඉන්න තැනත් ගැන. සරසවි යන්න අවස්ථාව ලැබුණත් සරසවි යන්නේ නැතුව ගුවන් විදුලි සංස්ථාවට සම්බන්ධ වුණා.එහෙත් පසුකාලයේදි සංගීත විශාරද දක්වා අධ්‍යාපන ලැබුවා. ප්‍රේමදාස මුදුන්කොටුව ගුරුතුමා ඇතුළු ගුරුවරු ගණනාවක් අත දුන්නා. ඔවුන් ගැන අදටත් හිතේ තියෙන්නේ ලොකු භක්තියක්.

• හොඳම මිතුරා සැමියා වෙයි

රැකියාව කරමින් ටික කලක් යනකොට ගුවන්විදුලියේම තාක්ෂණ ශිල්පියෙක් ලෙස සේවයකළ තරුණයකුට වැඩියෙන් හිත යනවා වගේ හැඟීමක් දැනුණා. කලක් අප දෙදෙනා හොඳම මිතුරන් සේ ඇසුරුකර පසුව පෙම්වතුන් බවට පත්වුණා.1998. 10.05 ලොකු දුවත්, එයට වසරකට පසුව පොඩි දුවත් ඉපදීම ජීවිතයේ හැමදාමත් මතකයේ තිබෙන සිදුවීම් .අද ලොකු දුව උසස් පෙළ අවසන්කර වැඩිදුර අධ්‍යාපනය හදාරනවා. පොඩි දුව උ.පෙළ හදාරමින් සිටිනවා. අතීතය මතක්වන වෙලාවට හිතෙනවා මම කොයි තරම් සාර්ථකද කියලා. අඩු වයසින් විවාහ වී දරු දෙදෙනකුගේ මවක් වන්න වාසනාවන්ත වුණා.

• දම්සාරි 'කරද්දි හෙළකට වැටෙන්න ගියා

බොහෝ රංගන ශිල්පිනියන් ක්ෂේත්‍රයට එන්නේ විවාහ වෙන්න පෙර වුවත් මම රංගනයට පිවිසෙන්නේ විවාහ වී දරු දෙදෙනාම ඉපදුණාට පස්සේ.මට මතකයි කලා ක්ෂේත්‍රයට පැමිණි මුල් කාලයේ ඇතැමුන් මාව දිරිමත් කළා වගේම සමහරු නොයෙක් කතා කියමින් සිත දුර්වල කරන්න උත්සාහ කළා. නමුත් ඒ කිසිවකටවත් මා සැලුණේ නැහැ.කලාවට පැමිණි මුල් කාලයේ ධර්මසිරි බණ්ඩාරනායක, ජයලත් මනෝරත්න, අනෝජා වීරසිංහ, වැනි ප්‍රවීණයන් රැසක් ඇසුරුකරන්න ලැබුණා. මුල් කාලයේ රංගනයෙන් දායක වු'මද්දහන' ටෙලිනාට්‍යයේ තිබුණා පුළුන් කොට්ටයක පුළුන් ඉවරවෙනතුරුම තරහ ගිහින් ඇදල දාන දර්ශනයක්. එය හරියටම කළා කරල ඉවර වුණා විතරයි ඒ ඩස්ට් එක විෂ වෙලා රෝහල් ගතවන්න සිදුවුණා. කොහොමහරි පහුවදා බලෙන්ම ටිකට් කපාගෙන ආපහු රූ ගත කිරීමට සහභාගිවුණා. තවත් වරක් නිමල් රත්නායකගේ'දම්සාරි'ටෙලි නාට්‍යයේ රුගතකිරීම්වලදී එක දර්ශනයක් තිබුණා ගල් තලාවක් මත දුවන්න.පහළ විශාල හෙළක්.බය හිතුණත් හිතට ගන්නෙ නැතිව දුවනවා කියල හිතුවා. කකුල ලිස්සුවා, හෙළට වැටෙන්න ගිහින් ගහක් අල්ලගෙන යන්තමින් බේරුණා. ඒ වගේ සිදුවීම් ගණනාවක්ම රූගත කිරීම්වලදි සිදුවුණා. 'ඔටුනු'වේදිකා නාට්‍යයේ චරිත දෙකක පෙනී සිටිනවා.ඒ මෙහෙකාරියගේ සහ වෙනත් චරිතයක.මෙහෙකාරියට දාන කණ්ණාඩි යුවළ පැළඳගෙනම අනිත් චරිතයටත් වේදිකාවට ඇවිත්. අනෙක් පැත්තෙ හිටියෙ ගිහාන් ප්‍රනාන්දු. එයා පුදුමයෙන් බලන් ඉන්නවා.මොනව කරන්නද වැරැදුණේ නැහැ වගේ රඟපෑවා.

• දෙවනවරටත් විවාහ උත්සවයක්

මේ වන විට වේදිකා නාට්‍ය විසි හයක්, ටෙලි නාට්‍ය 20ක්, චිත්‍රපට තුනක රංගනයෙන් දායක වී තිබෙනවා. මගේම කියා ගීත කිහිපයකුත් ගායනා කර තිබුණත් ඒවා ගොඩක්ම රසිකයන් අතරට ගියේ නෑ . වෙළෙඳ දැන්වීම් හඬ කැවීමත්,විදෙස් ටෙලිනාට්‍ය සහ චිත්‍රපට හඬ කැවීමත් කරගෙන යනවා. පසුගිය කාලයේ මමත්, සැමියාත් විවාහ වී වසර 17ක් ගෙවුණු දා නැවතත් අපි විවාහ උත්සවය සැමරුවා. සැමියා කතෝලික නිසා අපේ විවාහය සිදුවුයේ පල්ලියේ.කලක සිට ඔහු හරි ආසාවෙන් සිටියේ මුල් ඇඳුම අදින්න. ඒ බව කියමින් මට නිතරම ඇවටිලි කරනවා ඒක අඳින්න අවස්ථාවක් දෙන්න කියමින්. මේ දක්වා සැමියා මගෙන් ඉල්ලපු එකම ඉල්ලීම ඉටු කරන්න ඕනෑ නිසා අපි නැවතත් විවාහ මංගල්‍යයක් ලෙස 17වැනි සංවත්සරය සැමරුවා. දරු දෙදෙනාත් ගොඩක් සතුටු වුණා අම්මයි තාත්තයි මනාල යුවළක මෙන් සැරසී සිටනවා දකින්න ලැබීම ගැන. එදාත් ජීවිතයේඅමතක නොවන විශේෂ දවසක් .

(සිළුමිණ පුවත්පත ඇසුරෙනි) 

---------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka