Friday, September 22, 2017

මම තමයි ක්ෂේත්‍රයේ ඉන්න කම්මැළිම ගායිකාව

ශානිකා වෙනදාට වඩා දැන් ටිකක් කාර්යබහුල වෙලා නේද?

ඇත්තටම ඔව්. පාසල් නිවාඩුවත් එක්ක ටිකක් කාර්යබහුල වුණා. සංගීත වැඩකටයුතුවල ලොකු කාර්යබහුලත්වයක් නැති වුණත් ළමයින්ගේ වැඩ කටයුතු එක්ක දැන් තියෙන වැඩකටයුතු කරගන්න ටිකක් අමාරු වෙලා තියෙනවා.

ඒ කාර්යබහුලත්වය නිසාද අලුත් නිර්මාණ රසිකයන්ට තිළිණ කරන්න ඔබ ප්‍රමාද?

මම දකින විදිහට ශානිකා වනිගසේකර තමයි ක්ෂේත්‍රයේ ඉන්න කම්මැළිම ගායිකාව. සංගීත ක්ෂේත්‍රය මගේ වෘත්තිය වුණත් කලාව යොදාගෙන හම්බ කරගැනීමේ පරමාර්ථයක් මට නැහැ. මගේ ජීවන රටාව පිළිවෙළකට ගෙනියන්න ප්‍රමාණවත් මුදලක් තිබුණොත් ඒ හොඳටම ඇති.
නමුත් අපෙන් නව නිර්මාණ බලාපොරොත්තුවෙන් ඉන්න රසික රසිකාවියන් වෙනුවෙන් අලුත් නිර්මාණ ඔවුන්ට තිළිණ කළ යුතුයි. නමුත් මම මගේ ගීතවලට සෑහෙන කල්දෙනවා. ඒ නිසා ඒ කාලය තුළදී ගොඩක් අය ඒ ගීත රසවිඳිනවා.

අලුත් ගීත කළේම නැද්ද?

මේ වෙනකොට අලුත් ගීත දෙකක් කරලා තියෙනවා. මගෙ ලොකු ආසාවක් තිබුණා චන්දන වල්පොලට කියලා සිංදුවක් කරගන්න. ඒ නිසා 'පිනි වෑහෙනා' කියන ගීතය ඔහුට කියලා කරගත්තා. අනිත් සිංදුව ටිකක් විශේෂයි. මොකද මම දැන් ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු විසිනවයක් විතර වෙනවා. මේ කාලය තුළ මම 'මෙලඩි' එකක් කරලා 'රිලීස්' කරන පළමුවැනි සිංදුව තමයි ඒක. නමුත් ඒක තවමත් 'රිලීස්' කරලා නැහැ.

ඒ ගීතය රසිකයන් අතරට ගේන්න තව කාලයක් ගතවෙයිද?

ඒකට මම ලොකු කාලයක් ගන්නෙ නැහැ. ඒක මගෙ රසික රසිකාවියන්ට තිළිණයක් හැටියට දෙන්නයි බලාපොරොත්තු වෙන්නෙ. මොකද ඔවුන් මාත් එක්ක මෙතෙක් කාලයක් ආදරයෙන් රැඳී සිටියා. ඒ වෙනුවෙන් අලුත් නිර්මාණ ඔවුන්ට තිළිණ කළ යුතුයි.

ගීතයක් ජනප්‍රිය කර ගැනීමට රූප රචනාව අනිවාර්ය වී ඇති යුගයක ඔබ ඇයි මේ වෙනස්ම මාවතක ගමන් කරන්නේ?

මම රැල්ලට යන ගායිකාවක් නෙවෙයි. මම ක්ෂේත්‍රයට එන කාලෙත් මියුසික් වීඩියෝ යොදාගෙන තිබුණේ නැහැ. අපේ මහන්සියෙන් තැනකට ආවොත් විතරයි මාධ්‍ය අපෙන් සිංදුවක් ඉල්ලන්නේ. දැන් ඒක ඊට වඩා හාත්පසින්ම වෙනස් වෙලා. මියුසික් වීඩියෝවක් කිරීම අනිවාර්ය වෙලා තියෙනවා. එහෙම නොකළොත් ඒ ගීතය ප්‍රසිද්ධ වෙන්නෙ නැහැ කියලා ලොකු විශ්වාසයක් ඔවුන් තුළ ගොඩනැඟිලා තියෙනවා. මම නම් ඒ විශ්වාසය තුළ නැහැ. තව කාරණයක් තමයි මාධ්‍යයට මුදල් ගෙවලා ගීත ප්‍රචාරය කරගැනීම. දවසකට එකම සින්දුව හත් අට වතාවක් විතර ඇහිලා ඇහිලා අන්තිමට ගීතය එපාම වෙන තත්ත්වයට පත්වෙනවා. මගේ ගීතවල පැවැත්මෙහි රහස තියෙන්නේ එතැන. මගේ ගීතයක් දවසකට දෙතුන් වතාවකට වඩා නොඇසෙන නිසා ඒ ගීත රසිකයින් ආදරයෙන් රසවිඳිනවා.

තාමත් ශානිකා බේබි නේද?

පොඩිකාලේ මගෙ අම්මයි තාත්තයි බේබි කියන නම ඉස්සරහට දැම්මා. මොකද ක්ෂේත්‍රයේ රැඳී ඉන්න විශේෂ නමක් අවශ්‍ය නිසා. ඇත්තටම ඒක මට වාසනාවන්ත නමක් වුණා. අදටත් ගොඩක් දෙනා මාව හඳුනන්නේ බේබි ශානිකා කියන නමින්.

ඔබ ගායනා කළ ගී අස්වැන්න තුළින් මුලින්ම රසික හදවත් වැලඳගන්නට සමත් වුණු ගීතය ඔබට මතකද?

මම ගායනා කළ ගීත අතරින් මුලින්ම රසික හදවත් වැලඳගන්නට සමත් වුණ ගීතය තමා 'මංගල නැකැතේ' ගීතය. ඒ ගීතයට මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. දැනට මට වයස අවුරුදු තිස් පහක් වුණත් අදටත් මට එම ගීතය කිසිම අඩුවක් නැතිව අලුත් ගීතයක් වගේ ගායනා කිරීමේ හැකියාව තියෙනවා.

සිංහල, දෙමළ, හින්දි යන විවිධ භාෂාවල ගීත ගායනා කරන ගායිකාවක් හැටියට කොහොමද ඔබ එකම වේදිකාවක ඒ එක් එක් ශෛලීන්ට අනුගත වෙන්නේ?

මම හිතන විදිහට ඒකට හොඳ ප්‍රායෝගික අභ්‍යාසයක් අවශ්‍යයි. ඔය දක්ෂතාව හැමෝටම පිහිටන දෙයක් නෙවෙයි. සමහර අයට තියෙනවා මට නැති දක්ෂතාවන්. එක එක්කෙනාගේ ටැලන්ට් එක අනුව තමයි ඒක වෙනස් වෙන්නෙ. මම පුංචි කාලේ ඉඳන්ම හින්දි සහ දෙමළ සින්දු තමා වැඩිපුර පුරුදු වුණේ. ඒකත් එයට ලොකු හේතුවක් වෙන්න ඇති. ඒක දෙවියන් වහන්සේ විසින් මට දුන්න ලොකු තිළිණයක් කියලයි මම හිතන්නෙ.

අවුරුදු විස්සකට කලින් ඔබ වැඩියෙන් ප්‍රිය කළේ හින්දි ගීත ගායනා කරන්නනෙ. දැන් තරමක් එය මඟහැරිලා නේද?

ඒ කාලේ වෙනකොට මම කළ සිංහල ගීත ටිකක් අඩුවෙන් තිබුණේ. ගීත දෙකක් වගේ තමයි කරලා තිබුණේ. ඒ කාලේ හින්දි සින්දුවලට රසිකයන් අතර ලොකු ඉල්ලුමක් තිබුණා. රසික ඉල්ලුමත් එක්ක මගේ නිර්මාණවලටත් එය තදින්ම බලපෑවා. ඒ නිසා ඒ කාළේ මම වැඩි උනන්දුවක් දැක්වූවේ හින්දි සින්දුවලට.

චිත්‍රපට පසුබිම ගායනයේදී කිහිප දෙනෙක් අතරෙ විතරයි බැටන් එක හුවමාරු වෙන්නෙ. ඇයි ඔබ ඒ සඳහා වැඩි උනන්දුවක් නොදක්වන්නේ?

මම චිත්‍රපට කිහිපයකම ගීත ගායනා කරලා තියෙනවා. නමුත් මම එයට අඩු සහභාගිත්වයක් දක්වන්නට හේතුව තමයි, ඒගොල්ලෝ මාව වේග රිද්මයේ ගීත ගායනා කරන ගායිකාවක් විදිහට වර්ග කර තිබීම. උදයකාන්ත අයියාගේ, සුනිල් අයියාගේ චිත්‍රපටවල තමයි මම වැඩිපුරම ගීත ගායනා කරලා තියෙන්නේ. මොකද ඔවුන් මගේ ටැලන්ට් එක හොඳින් හඳුනාගෙන තියෙනවා. ඒ වගේම තමයි මම විහිළුවට ලක්වෙන්න නම් කැමැති නැහැ. ඒ නිසා මට නොගැළපෙන ගොඩක් ඒවා අතහැරලා තියෙනවා.

ප්‍රසංග වේදිකාවේදී රසිකයන්ගෙන් ඔබට එදා ලැබුණු ආදරය තාමත් ලැබෙනවාද?

මගේ කටහඬ ශබ්දයි. ඒ වගේම ගැඹුරුයි. වේදිකාව හසුරුවා ගැනීමේ දී ඒකත් මට ලොකු වාසියක් වුණා කියලා හිතනවා. ඒ වගේම මට බොහෝ රසික රසිකාවියෝ හදවතින්ම ආදරය කරනවා. මම කිසිදවසක නොහිතපු ආදරයක් මගේ රසික රසිකාවියන්ගෙන් මට ලැබෙනවා. විශේෂයෙන්ම ප්‍රසංග වේදිකාවේදී ඔවුන් මගේ නම ඇහුවත් කෑ ගහලා අත්පොළසන් දීලා මාව ආදරයෙන් පිළිගන්නවා. මොකද ඔවුන් මාව ඇසුරු කරන්නේ ඔවුන්ගේ පවුලෙ කෙනෙක් විදිහට.

ඇතැම් ශිල්පීන් තමන්ගේ ගීත අලුත් පරපුර ගායනා කරනවාට වැඩි කැමැත්තක් නැහැ. ඔබේ ගීත යමෙක් රීමේක් කරනවට හෝ ඔබේ ගීත වෙනත් ශිල්පිනියක් ගායනා කරනවාට ඔබේ අකැමැත්තක් නැද්ද?

මගේ නම් කිසි අකමැත්තක් නැහැ. හේතුව නන්දා මාලනීගෙ ගීතයක් දහදෙනෙක් ගායනා කළත් අපිට රසවිඳින්න ලැබෙන්නේ දහ විදිහකට. නමුත් නන්දා මාලනීගෙ ගීතයක් ඇගේ කටහඩින්ම ඇහුවහම ඒ රහ එහෙමමයි. ඒ වගේම මගේ ගීතයක් මටත් වඩා හොඳට ගායනා කළත් මම ගායනා කරන රහට කවුරුවත් ගායනා කරන්නේ නැහැ. මොකද මගේ ගීතය මගේ කටහඩින් තමයි රසික හදවතට දැනිලා තියෙන්නේ. මගේ ගීත තවකෙක් ගායනා කළා කියලා ඒකෙ වරදක් දකින්නේ නැහැ. නමුත් ඔවුනුත් දැනගත යුතු දෙයක් තමයි, හැමදාම වෙනත් අයගේ නිර්මාණවලින්ම හම්බ කරන්නේ නැතිව තමන්ටත් කියලා නව නිර්මාණයක් කරගන්න කටයුතු කළ යුතුයි. එතැන තමයි ඔහුගේ හෝ ඇයගේ පැවැත්ම රදා පවතින්නේ.

ඔබේ ලොකු දුවටත් ඔබ වගේම ගීත ගයන්න පුළුවන් නේද?

දුවට දැන් වයස අවුරුදු එකොළහයි. ඇගේ වයසේ විදිහට ඇය හොඳට ගායනා කරනවා.

ප්‍රවීණ ගායිකාවක් විදිහට ඔබ ආ ඒ අඩිපාර තුළ ඔබේ දරුවනුත් එනවා දකින්න ඔබ කැමැති නැද්ද?

ඇත්තටම මගෙ කිසිම ආසාවක්වත් කිසිම බලාපොරොත්තුවක්වත් නැහැ එයාලව මේ ක්ෂේත්‍රයට යොමු කරන්න. මම ගායිකාවක් වුණා කියලා එයාලත් ගායිකාවක් විය යුතුයි කියන මානසිකත්වයක් මට නැහැ. මේ ක්ෂේත්‍රය ගැන මිනිසුන් පිටින් දකින ලස්සන ක්ෂේත්‍රය ඇතුළත නැහැ. අවුරුදු විසිනවයක් ක්ෂේත්‍රය තුළ රැඳී ඉන්න ගායිකාවක් හැටියට එය මම අත්දැකීමෙන්ම දන්න දෙයක්. ඒ නිසා දරුවන්ගේ දක්ෂතාව හඳුනාගෙන ඔවුන්ගේ කැමැත්තට තමයි මම මූලිකත්වය දෙන්නේ.

කලාකාරිනියකට තම පවුලෙන් ලැබෙන සහයෝගය ඉතා වටිනා දෙයක්. ඔබටත් ඒ සහයෝගය නොඅඩුව ලැබෙනවාද?

මේ වෙලාවේ මගෙ අම්මයි, තාත්තයි විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඔවුන් දෙදෙනාගෙන් ඒ සහාය නොලැබුණානම් අද ශානිකා වනිගසේකර කියලා ගායිකාවක් ක්ෂේත්‍රය තුළ දැකගන්න ලැබෙන්නේ නැහැ. සමාජයේ නින්දා අපහාස විඳිමින් මාව මේ තැනට ගෙන එන්න වින්ද දුක්ගැහැට වචන වලින් විස්තර කරන්නත් අමාරුයි. ඒ වගේම සැමියාගෙනුත්, දරුවන්ගෙනුත් මගෙ වැඩකටයුතුවලට නොමඳ සහායක් ලැබෙනවා.

ඔබ කලාව වෙනුවෙන් සිදුකරන්න බලාපොරොත්තු වන ඉදිරි වැඩකටයුතු මොනවාද?

ලබන අවුරුද්ද වෙනකොට මම මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු තිහක් විතර වෙනවා. ඒ වෙනුවෙන් ප්‍රසංගයක් කරන්නත් හිතේ ලොකු අදහසක් තියෙනවා. ඒක මම කරන්න බලාපොරොත්තු වෙන්නෙ මගේ රසික රසිකාවියන්ට දෙන තිළිණයක් විදිහට. පොඩි කාලේ ඒක පුද්ගල ප්‍රසංගයක් කළා මිසක වෙන කිසිම ඒක පුද්ගල ප්‍රසංගයක් මේ වනතෙක් මම කරලා නැහැ.

(මව්බිම පුවත් පත ඇසුරෙනි) 

---------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka